“ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි” චිත්‍රපටිය සදහා පාලම සෑදු ස්ථානය
1957 බ්‍රිතාන්‍ය – ඇමෙරිකානු චිත්‍රපටයකි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ලීන් විසිනි. ප්‍රධාන චරිත ලෙස විලියම් හෝල්ඩන්, ජැක් හෝකින්ස්, ඇලෙක් ගිනස් සහ සෙසූ හයකාවා රංගනයෙන් දායක වූහ. ප්‍රංශ ජාතික පියෙර් බෝල් ගේ ද බ්‍රිජ් ඕවර් ද රිවර් ක්වායි (1952) නවකතාව ඇසුරින් චිත්‍රපටය නිපදවා ඇත. මරණයේ මාවත ලෙසද හැඳින්වුණු බුරුම දුම්රිය මාර්ගයේ, එක්තරා පාලමක් ඉදිකිරිම පාදක කරගනිමින් දිවෙන චිත්‍රපටයේ කතාව ප්‍රබන්ධයකි. මෙහි රූ ගත කිරීම් 1950 දශකයේදී ලංකාවේ කිතුල්ගල ආසන්නයේ කැළණි ගඟ ආශ්‍රිතව සිදුකර ඇත.
30 වන ඇකඩමි සම්මාන උළෙලේ (1958) දී හොඳම චිත්‍රපටය, හොඳම නළුවා ඇතුළු සම්මාන 7 ක් දිනා ගැනීමට මෙම චිත්‍රපටය සමත් විය. ලෝක සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම චිත්‍රපට අතුරින් එකක් ලෙස මෙය සළකනු ලැබේ
ගමන් මාර්ගය
යටියන්තොට නගරයේ සිට කිතුල්ගල නගරයට පැමිණ නගරය පසු කරමින් කීලෝමීටර් 03 ක් පමණ පැමිණි පසු කළුකොහුතැන්න ග්‍රාමය හමුවේ. එතැනින් දකුණු පසින් ක්වායි ගඟේ පාලම නමින් නාම පුවරුවක් දිස්වේ.එම ස්ථානයේ සිට මීටර් 500 ක් පමණ ගිය තැන ක්වායි ගඟේ පාලම රූගත කෙරු ස්ථානය දැකගැනීමට හැකියාව ඇත.
කටාරම් ඔය
no images were found
කටාරම් ඔය ඉතාමත් මනරම් භුමි ප්‍රදේශය පිහිටා ඇති ජල මුලාශ්‍රයකි. එහි අපූර්ත්වය කටාරම් ඔයෙන් ගලා බසින ජල පහර නිසා තවත් ආකර්ෂණියභාවයක් ගෙනදෙයි. මෙහි ස්වාභවිකව ඉදිවූ ජල තටාක පිහිටා ඇති අතර එයින් මෙම ඇඳ හැලෙන ජල කදම්භයට තව තවත් ආකර්ශනයක් ගෙනදෙයි. මෙහි ත්‍රාසඡනක ක්‍රීඩා සිදු කරන අතර දෙස් විදෙස් සංචාරකයින් පිරි පවතින මෙම ස්ථානය නෙත් වශි කරන චිත්‍රයක් බඳුය.
ගමන් මාර්ගය
යටියන්තොට නගරයේ සිට කිතුල්ගල නගරයට පැමිණ නගරය පසු කරමින් කීලෝමීටර් 03 ක් පමණ පැමිණි පසු කළුකොහුතැන්න ග්‍රාමය හමුවේ. එතැනින් දකුණු පසින් පරවලතැන්න ග්‍රාමයට යන මාර්ගය දිස්වේ. එතැන් සිට මීටර් 800 ක් පමණ ගිය පසු පාලමක් හමුවේ. එම පාලම පසු කොට ඉදිරියට ගොස් වම් පසට මීටර් කිහිපයක් ගිය පසු කටාරම් ඔය හමුවේ.
මාකන්දාව රක්‌ෂිතය
ලංකාවේ පැරැණිතම වන රක්‌ෂිත අතරින් එකක් වන මාකන්දාව රක්‌ෂිතය 1903 සැප්තැම්බර් 11 වැනි දින අංක 5911 දරන ගැසට් නිවේදනය මගින් හෙක්‌ටයාර 192ක් පමණ වන වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. කැලණිවැලි රක්‌ෂිතය හා සම්බන්ධ වනාන්තර පද්ධතියක් ලෙස ව්‍යාප්ත ව ඇති මාකන්දාව රක්‌ෂිතය ජෛව විද්‍යාත්මකව ඉතා ම වටිනා ඉතාම දුර්ලභ ජීවී විශේෂ බොහොමයකට රැකවරණය සලසන කැලණි ගඟේ ජල පෝෂක වනාන්තරයකි. පහතරට තෙත් නිවර්තන ද්විතීයික වනාන්තර වැස්‌මක් සහිත මේ ප්‍රදේශය හොර ශාක ප්‍රමුඛ ශාක ප්‍රජාවන් ගෙන් සමන්විත ය.
මේ වන රක්‌ෂිතයේ ජෛව විද්‍යාත්මක වටිනාකම මෙතෙකැයි ලඝූ කොට දැක්‌විය නො හැකි තරම් විශාල වටිනාකමකින් යුක්‌ත ය. මුළු ලොවෙන් ම මේ ප්‍රදේශයේ පමණක් වාර්තා වන හොර ශාක කුලයට ((Dipterocarpaceae) අයත් Balanocarpus kitulgallensis ශාක කිහිපයක් පමණක් ඉතිරි ව ඇත්තේ මේ වන රක්‌ෂිතයේ පමණි. මෙය මේ වනාන්තරයේ ඇති වැදගත්කම කියාපාන ප්‍රධාන එක් සාධකයක් පමණි. ලංකාවට ආවේණික දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති Tropoidia bambusifolia උඩවැඩියා විශේෂයට රැකවරණය සලසන දැනට හදුනාගත් එක ම වාසස්‌ථානය මේ වනාන්තරයයි. මීට අමතර ව ඉතා ම දුර්ලභ ලංකාවට ආවේණික උඩවැඩියා විශේෂ වන Bromheadia srilankensis හා Dendrobium microbulbon ශාක මේ වනාන්තරයෙන් වාර්තා වේ. ලංකාවේ ඉතා ම දුර්ලභ හා එක ම ජලජ උඩවැඩියා විශේෂය වන Malaxis thwaitesii ශාකය මේ වනාන්තරයේ දිය පහරවල ඉතා ම සුළු වශයෙන් වාර්තා වේ.
පිළිල ශාකයක් වන Tolypanthus gardinari ශාකය මේ වනාන්තරයේ වාර්තා වන තවත් ඉතා ම දුර්ලභ ශාකයකි. ලංකාවෙන් වඳ වී ගොස් ඇතැයි විශ්වාස කළ පසුව නැවත කිතුල්ගල ඇතුළුව වනාන්තර කිහිපයකින් පමණක් සොයාගත් ලංකාවට ආවේණික කූඩළු විශේෂයක් වන ගල්දෙමට (Impapiums repens) මේ වනාන්තරයේ ඊට ම විශේෂිත වාසස්‌ථානවල පමණක් වාර්තා වේ. හොඳින් දිය සීරාව සහිත හා හොඳින් හිරුඑළිය ලැබෙන ස්‌ථානවල ගල්පර ආශ්‍රිතව පමණක් මේ ශාකය දැක ගත හැකි ය. එම පාරිසරික තත්ත්වයන් වෙනස් වන අවස්‌ථාවල දී මේ ශාකය ඒ ප්‍රදේශවලින් විනාශ වී යයි.
බෝවිටියා කුලයට අයත් අපිශාකයක් ලෙස වර්ධනය වන ඉතා ම දුර්ලභ ශාකයක් වන Medinella cunata ශාකය මේ වනාන්තරයේ වාර්තා වන ආවේණික, දුර්ලභ සපුෂ්ප ශාක අතරින් ඉතා ම වැදගත් ශාකයකි. මීට අමතරව වැලක් ලෙස වැඩෙන Hoya pinipolia ශාකය ද ඉතා දුර්ලභ, ලංකාවට ආවේණික සපුෂ්ප ශාකයකි.
මේ වනාන්තරයේ කැලණි ගඟේ ජල පෝෂක දිය දහරාවන් ආශ්‍රිත ගල්පර මත වැඩෙන Podostemaceae කුලයට අයත් ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ හා වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති ජලජ ශාක වන Polypleurum eleomgatum, Farmaria metrogoides හා Dalzillea zeylanica ශාක දැකගත හැකි ය. මීට අමතර ව දියපහරවල අතිඋඩයන් හා කෙටල ශාක විශේෂ වන ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ Cryptocoryne thwaitesii හා Leginandra thwaitesii විශේෂ වාර්තා වෙයි.
මේ වනාන්තරයේ ශාක විවිධත්වය මෙන්ම අද්විතීය වූ සත්ත්ව විවිධත්වයක් ද දැකගත හැකි ය. මත්ස්‍ය, උභයජිවීන්, උරගයන්, පක්‌ෂීන්, ක්‌ෂීරපායින් හා සමනළයින් යන සත්ත්ව කාණ්‌ඩ හයට අයත් විශේෂ 411ක් පමණ මේ වනාන්තරයේ වාර්තා වේ. ඉන් විශේෂ 119ක් ලංකාවට ආවේණික වේ. එහි ආවේණිකතා ප්‍රතිශතය 29%ක් තරම් ඉහළ අගයක් ගනී.
ඉහත කාණ්‌ඩ හයට අයත් ලංකාවේ වාර්තා වන සත්ත්ව විශේෂ අතුරින් 40%ක් හා ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් 38%ක් මේ වනාන්තරයෙන් වාර්තා වීමෙන් මෙහි ජෛව විද්‍යාත්මක වටිනාකම මනාව පැහැදිලි වේ.
ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ අතර වඳ වීමේ තර්ජනයට දැඩි ලෙස මුහුණපා ඇති ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ මත්ස්‍ය විශේෂයක් වන අසෝක පෙතියා (Systomus asoka)) කැලණි ගෙඟ් අතු ගංගාවන් වන මේ රක්‌ෂිත වනාන්තරයේ හා ඒ ආශ්‍රිත දිය දහරාවන් පමණක් නිවහන කර ගෙන ජීවත් වේ. මේ විශේෂයට අමතරව ජොන්ක්‌ලාස් ගේ පුල්ලි අහිරාවා (Lepidocephalichthys jonklaasi) විශේෂය ද, මේ වනාන්තරයේ කුඩා දියපහරවල වාර්තා වන ලංකාවේ ඉතා ම සීමිත ව්‍යාප්තියක් ඇති දුර්ලභ මත්ස්‍ය විශේෂයකි. මීට අමතරව ලේ තිත්තයා (Puntius titteya), තල්කොස්‌සා (Belontia signata), හල්මල් දන්ඩියා (Rasboroides vaterifloris), කොළ රතු වැලිගොව්වා (Sicyopus jonklaasi), ගල්වැලිගොව්වා (Sicyopteres halei), ඉරි අහිරාවා (Acanthocobitis urophthalmus) යන විශේෂ මේ වන රක්‌ෂිතයේ දියපහරවල වාර්තා වන දුර්ලභ මත්ස්‍ය විශේෂ වෙයි.
ලංකාවේ පක්‌ෂි විවිධත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ඉතා ම වැදගත් වනාන්තරයක් වන මෙහි ලංකාවට ආවේණික ඉහළ කදුකරයේ වාර්තා වන විශේෂ හැර සියලු ම ආවේණික විශේෂ වාර්තා වේ. එම නිසා මෙය පහතරට තෙත් වනාන්තර ආශ්‍රිත ආවේණික පක්‌ෂි විශේෂ සියල්ල ම දැක ගත හැකි එක ම වනාන්තරය ලෙස හැදින්විය හැක. මෑතක දී විද්‍යා ලොවට හදුන්වා දුන් පඩුවන් බස්‌සා (Serendib Scops Owl) පළමුව නිරික්‌ෂණය කිරීමට ඒ පිළිබඳව පර්යේෂණ සිදු කළ දීපාල් වරකාගොඩ මහතාට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. තව ද එම විශේෂය වාර්තා වන කුඩා ම වනාන්තරය ද මෙය වේ. ඊට අමතර ව මේ විශේෂයේ බෝ වීම පිළිබඳ ව නිරීක්‌ෂණය කිරීමට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. මේ පක්‌ෂි විශේෂය නැරඹීමට පමණක් බොහෝ විදේශීය පක්‌ෂි නිරීක්‌ෂකයෝ මේ වනාන්තරයට පැමිණෙති. මේ නිසා මේ වනාන්තරය ලොව පක්‌ෂි නිරීක්‌ෂකයන් අතර මහත් ප්‍රසිද්ධියට පත් වී ඇත. මීට අමතර ව ලංකාවේ ඉතා ම දුර්ලභ ආවේණික පක්‌ෂි විශේෂ වන හිස සුදු මයිනා (White – faced Starling), බට ඇටිකුකුළා (Green – billed Coucal)” හිස අළු දෙමලිච්චා (Ashy – headed Laughingthrush) හා ලෙග් ගේ පිලිලගෙඩි සූටික්‌කා (Legge’s Flowerpecker) මෙහි වාර්තා වේ. මීට අමතරව දුර්ලභ නේවාසික පක්‌ෂියකු වන දුම්කවුළුවා (Dollarbird) මේ වනාන්තරයෙන් වාර්තා වන තවත් සුවිශේෂී පක්‌ෂියෙකි. උභයජීවීන් ගෙන් ඉතා ම පොහොසත් වනාන්තරයක් වන මෙහි වාර්තා වන විශේෂ අතුරින් 75%ක් ලංකාවට ආවේණික වේ. කොටගම ගේ කුරු ගෙම්බා (Duttaphrynus kotagamai), දික්‌හොඹු ගස් මැඬියා (Taruga longinasus) වැනි ලංකාවට ආවේණික දුර්ලභ විශේෂ බොහොමයකට මේ වනාන්තරය නිවහන සලසයි.
ලංකාවේ ඉතා දුර්ලභ ආවේණික උරග විශේෂ වන මූකලන් තෙලිස්‌සා (Hypnale zara), කෙටිවල් මැඩිල්ලා (Aspidura drummondhayi), රළු අග කටුස්‌සා (Ceratophora aspera) ඇතුළු ඉතා ම දුර්ලභ උරග විශේෂ රාශියකට රැකවරණය සලසන වනාන්තරයක් ලෙස ද මේ වන රක්‌ෂිතය හැඳින්විය හැකි ය.
ගමන් මාර්ගය
කරවනැල්ලේ සිට කිතුල්ගල බලා එන විට කිතුල්ගල නගරයට 500 ක් පමණ මෙහායින් දකුණු පසින් කිතුල්ගල තානායමට පිවිසුම් මාර්ගය පිහිටා ඇත. එම මාර්ගයේ ගමන් ගත් පසු වම් පසට තොටුපල පාරේ දිස්වේ. මෙම පාර කෙලින්ම කැළනි ගඟට දක්වා වේ. කිතුල්ගල තනායම අසල තොටුපලෙන් ගඟ හරහා ඔරුවෙන් ගමන් කිරීමේන් රක්ෂිතයට ලඟා විය හැක. ඔරුවෙන් ගමන් කිරීම සඳහා ගාස්තුවක් අය කෙරේ
හැමෝටම යන්න අවසර නැති ලංකාවේ සැගවුන තවත් එක් සුන්දර ප්‍රදේශයක් වන වේවැල්තලාව
යටියන්තොට හල්ගොල්ල ප්‍රදේශය යනු ස්භාවික සුන්දරත්වයෙන් පිරිපුන් ප්‍රදේශයකි. මෙහි තේ වතු යායක මැද්දේ තිබෙන වේවැල්තාලව නම් කදු බෑවුමක් පිහිටා තිබෙන අතර ලංකාවේ ජනප්‍රිය නොවු සුන්දර ස්ථානයකි. ශ්‍රී ලංකාව තුළ දෙවන වැඩි වර්ෂාපතනයක් වාර්තා වන්නේද මෙම ප්‍රදේශයෙනි. මෙහි ජල උල්පත් දිය ඇලි බහුලව දැක ගැනීමට හැකියාව ඇත හැක. වේවැල්තලාව යනු හංගොල්ල තේවතු යායේ එක් කොටසක් වන අතර බ්‍රිතාන්‍යය යටත් විජිත සමයෙහි ඉංග්‍රිසි ජාතිකයන් විසින් මෙම තේ වතු යාය නිර්මාණය කර තිබේ. ඔවුන් විසින් මෙම ප්‍රදේශයට වෙල්වට් යන නම යොදා ඇති අතර කාලයත් සමග එය වේවැල්තාලාව නමින් අනුවර්තනය වී ඇත. ශ්‍රි ලංකාවේ පවතින එකම කේබල් කාර් පද්ධතිය දැකගත හැක්කේ වේවැල්තලාවෙන් වීම තවත් එක් විශේෂ කරුණකි. දෙවන ලෝක යුද සමය සිද්ධියක් සිහිපත් කරන කුලුනක්ද මෙහි පිහිටා ඇති අතර හල්ගොල්ල වතුයාය හා ජෛව විවිධත්වය ගැන සඳහන් තොරතුරුද ඒ අතර විය. මෙහි ගමනාන්තය වන්නේ ස්වාධීන රූපවාහිනී කුලුනු පිහිටි ස්ථානයයි. ප්‍රදේශයේ උස් ස්ථානයක වැජඹෙන වෑවියතලාව නිතරම මීදුම මගින් වැසී තිබෙන ජල පෝෂක රමණීය පරිසරයක් පිහිටි භූමියක පිහිටා ඇත.
ගමන් මාර්ගය
යටියන්තොට පැමිණ අමනාවල සීපෝත් මාර්ගය ඔස්සේ කි.මී. 13 කණුව පසුකොට පුනුගල තේ කර්මාන්ත ශාලාව අසළින් දකුණ පසට හැරී හල්ගොල්ල වතුයාය පිහිටි ප්‍රදේශයට පැමිණිමට හැකියාව ඇත.