බෙලිලෙන
පිහිටීම
ආදී මානවයා ජීවත් වූයේ යැයි සැලකෙන කිතුල්ගල බෙලිලෙන සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට කිතුල්ගල නගරයෙන් ඔබ්බට පිහිටා ඇත.
පුරා විද්‍යා වටිනාකම
අදින් අවුරුදු 25000 ක් අතීත මානවයන් මෙහි සිටි බවට ස්ථිර සාක්ෂි හමුවී ඇත.මෙය ලෙන් තුනකින් සමන්විතය. මෙම ලෙන් ද ඇතුළත් අක්කර 28 ක භූමියක් පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් නම් කර ඇත. කැණීම් කර ඇත්තේ මැද පිහිටි විශාල ලෙනෙහි ය. එහි ලෙන් විවරය පළලින් අඩි 60 ක් ද උසින් අඩි 40ක් පමණ ද වේ. එහි කැණීම් වළවල් 3ක කැණීම් කර තිබේ. අදින් අවුරුදු 25000 ක් අතීත මානවයන් මෙහි සිටි බවට ස්ථිර සාක්ෂි හමුවී ඇත. ලෙන තුළින් මිනිස් ඇටසැකිලි කොටස් හමුවුවද මිනී වළවල්වල සලකුණු දක්නට නොලැබේ. ඒ වෙනුවට වළලෑම් කර ඇත්තේ ලෙන් බිම යාන්තමට හාරා ඒ මත ඉවත ලන කසළ දැමීමෙනි. මෙම භූමියෙන් අවම තරමින් පුද්ගලයන් 30 දෙනෙකුගේ අස්ථි හමුවී තිබේ. එදා මානවයා ගතකළ සරල ජීවිතයට අවශ්‍ය ආයුධ තනා ගත්තේ ද ඉතා සරල ලෙස ය. ප‍්‍රධාන වශයෙන් භාවිත කර ඇත්තේ මුවහත් උල් කුඩා ගල් මෙවලම් ය. ඒවා ක්ෂුද්‍ර ශිලා මෙවලම් නමින් හඳුන්වයි. බෙලි ලෙන කැණීම්වලින් මීට වසර 27000 සිට 34000 දක්වා ඈත යුගයකට අයත් ශිලා අවි ලැබී ඇත. ශිලා මෙවලම් හැරුණුවිට සත්ව ඇටකටු වලින් තනාගත් මෙවලම් ද මෙම මානවයාට සිය එදිනෙදා කටයුතුවලදී උපාකරී වී ඇත. ඇටකටු මෙවලම් ලැබී ඇත්තේ බෙලිලෙනෙහි වසර 28000කට කාල නිර්ණය කර ඇති පස් තට්ටුවලිනි. සත්ව ඇටකටු, දත්, අං ආදී කොටස් ආයුධ තැනීමට යොදාගෙන තිබේ. වඳුරා, අලියා, මුවා, ගෝනා, මී හරකා වැනි සතුන්ගේ අස්ථි කොටස්වලින් මෙම ආයුධ තනාගෙන ඇත.
උල් ඇටකටු මෙවලම්,පැතලි ඇටකටු මෙවලම් මෙන් ම ඇටකටු හෝ අං වලින් තනන ලද පබලු ද කැණීම්වල දී හමු විය. මෙහිදී හමු වූ දාර සහිත වූත් දැති සහිත වූත් හැඳි වැනි පතුරු විශේෂ ආයුධ ගණයකට අයත්වේ. පබලු වැනි ශරීර අලංකරණ ආභරණ හමුවීමෙන් පෙනෙන්නේ මේ ආදි මානවයා යම්කිසි කලා රසඥතාවයකින් යුක්ත ව සිටි බව ය. පාට තනා ගැනීමට ගත් ගුරුගල් අඹරන ගල් හමුවීමෙන් ද ඒ බව පැහැදිලි වේ. මෙසේ ගුරුගල් අඹරා ඇත්තේ සිරුරේ ආලේප කර ගැනීමට විය හැක. මධ්‍ය ශිලා යුග මිනිසා ආහාර වගා කිරීමට හුරුවී නොසිටි අතර, ප‍්‍රධාන යැපුම් මාර්ගය වූයේ දඩයමයි. මෙසේ දඩයම් කළ සතුන් අතර ප‍්‍රමුඛත්වය ගෙන ඇත්තේ මිනිසාගේ ළඟම නෑදෑයා වූ වඳුරා ය. ඊට අමතරව අලි පැටව්, ගවරා , කුළුමීමා, ඌරා, ගෝනා, මීමින්නා, ඉත්තෑවා, හාවා, වලිකුකුළා, හබන් කුකුළා ආදී සතුන් ද සර්පයන් හා මත්ස්‍ය වර්ගද ඔවුන්ගේ ආහාරය බවට පත්ව තිබුණි. තවත් ප‍්‍රධාන ආහාරයක් වූයේ ගස් ගොළුබෙල්ලන් ය.
ගමන් මාර්ගය
කිතුල්ගල නගරයේ සිට හැටන් දෙසට ටික දුරක් යන විට කිතුල්ගල පොලිස් ස්ථානය හමුවේ. පොලිස් ස්ථානය පසුකොට යාර 300 ක් පමණ ගිය පසු වම් පසට බෙලිලෙන දක්වා දිවෙන මහබාගේ පාර හමුවේ. එතැන් සිට කිලෝමීටර් 4ක් ගිය විට ඉන්ඔය දෙමළ විදුහල හමුවේ. එතැන් සිට තවත් කිලෝමීටර් 1 / 2 ගිය තැන බෙලිලෙන හමුවෙයි.
අමනාවල දේවාලය
පුරාණ කාලයේ සිටම මේ දක්වාම අමනාවල ප්‍රදේශය ප්‍රසිද්ධ වී ඇත්තේ මෙහි පිහිටා ඇති පත්තිනි දේවොල නිසාය. එමෙන්ම මෙහි ජීවත් වන ජනතාව පත්තිනි දේව භක්තිකයන්වේ. තවද මෙම ප්‍රදේශයේ දේව හාස්කම් පවතින බවද විශ්වාසයක් ඉතා ඈත කාලයේ සිටම පවතිනු ලැබේ.
වවුල්ගල පාමුල අමනාවල පත්තිනි දේවොල පිහිටා ඇත. මෙය එගොඩ හා මෙගොඩ දේවාල 02 කින් සමන්විත වේ. ඒ මන්දයත් අවමංගල්‍යක් වූ විට එගොඩ හෝ මෙගොඩ යන දේවාල 02 කින් එකක වතාවත් සිදුකරනු ලැබේ. තවද පත්තිනි දේවිය සම්බන්ධ නොයෙකුත් කථා පවතියි. පත්තිනි දේව මෑණියන්ගේ සේවිකාවක් වූ නන්වූදි නැමැත්තිය නිසා එම ප්‍රදේශයේ පිහිටා ඇති පර්වතයක් නනන්හුදි ගල නමින් හඳුන්වනු ලැබේ. තවද එක් අවස්ථාවක දේවාලෙය් කපු මහතා දෙවියන්ට පුජා කරමින් සිටින විට වවුල්ගලින් කොටසක් කඩා වැටෙනවාත් සමගම දේව හාස්කමක් හේතුවෙන් එම ගල් කොටස වැටීමට පෙර නැවතී ඇත. අඩි 50 ක් පමණ උස එම කඩා වැටීමට ගිය ගල හා ප්‍රධාන ගලත් අතර පරතරය අඩි 04 ක් පමණ වේ. බැබිල මුලකට ගල නැවතී ඇතැයි ජනප්‍රවාද වල සඳහන් වේ. මෙහි අදෘෂ්‍ය මාන බලවේග ඇති බව ගම්වැසියන් විසින් ප්‍රකාශ කරනු ලැබේ.
කබුළුමුල්ල පුරාණ පත්තිනි දේවාලය
සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය බල සීමාවේ මෙම පත්තිනි දෙවොල පිහිටා ඇත. සිද්ධ ගනේගොඩ දොළොස් පත්තිනි දේවාලය යනුවෙන්ද මෙම දෙවොල හඳුන්වනු ලැබේ. කබුළුමුල්ල දේවාලයේ ආරම්භය පිළිබඳව විමසන විට පරම්පරා ගණනාවක සිට මුඛ පරම්පාරගතව පැවතගෙන සුන්දර ජන කථාවක් පවතියි.
සීතාවක යුගය ක්‍රි.ව.1521 ඇරඹි ක්‍රි.ව.1592 ක් කෙළවර වූ අතර පළමුවන රාජසිංහ රජුගේ රාජ්‍ය කාලය ක්‍රි.ව.1581 හා ක්‍රි.ව.1592 දක්වා විහිදී තිබේ. මෙම දේවාලය වර්ෂ 435 ක් පමණ පැරණි යැයි සඳහන් කරන හෙයින් ක්‍රි.ව.1582 දී පමණ මෙය ඉඳිවන්නට ඇතැයි උපකල්පනය කළ හැක.
සිතාවක රාජසිංහ රජුගේ කලුතොට බලකොටුව භාරව සිටියේ රජුගේ සෙනෙවියෙක් වූ රණසිංහ මුදියන්සේය. මොහු වනිගකුල අබේසිංහ නමින්ද හැදින්වේ. මොහු ඉතා දක්ෂ අවංක සෙනෙවියෙකු වශයෙන් නම් දරා සිටියේය. එම නිසා රජුගේද ප්‍රශංසාවට මොහු ලක්විය. ඒ පිළිබද අමනාපයෙන් සිටියෝද වෙති. කලක් යත්ම රණසිංහ මුදියන්සේ පිළිබඳව සියුබ් බොරු කේළම් රජු ඉදිරියේ ගෙනහැර දක්වමින් රජු නොමඟ යවන ලදි. මෙම මුසාබස් වලට රැවටී රජු විසින් මෙම සෙනවියාව අත්අඩංගුවට ගන්නා ලදී.
මින් අනතුරුව දේවාලකන්දර නුදුරු මංගෙදරමුල්ලේ පත්තිනි දේවාලයේ කපු මහතා ලෙස කටයුතු කළ රණසිංහ මුදියන්සේගේ සහෝදරයා මෙම අවනඩුව විසදීම සඳහා දෙවියන්ගෙන් පිහිට පැතිමට සිතා දිනපතා යාතිකා කරමින් රජුට දෙවියන් ඉදිරියේ රතු රෙද්දක් ඇඳ පලි ගසා කන්නලව් කරමින් සහොදරයා එනතුරු නොනැගින අදහසින් සත්‍යාක්‍රියාවක් සිදුකරන ලදී.
මෙසේ සත්‍යාක්‍රියාව සිදුකරන අතරතුර සිරියහන් ගබඩාවේ නිදාසිටින රජුට කඩු ලපිස් ගත් දෙවියෝ සිහිනෙන් පෙනි සිරභාරයට ගන්නා ලද නිර්දෝෂි සෙනවියා නිදහස් කරන ලෙස නියෝග කරනු ලැබුණි. ඉන් අනතුරුව රණසිංහ මුදියන්සේ සෙනවියාට නිදහස ලැබුණි. මෙසේ දේව නියමය ලෙද අභය දානය ලැබු සේනවියා එතැන් පටන් අභය රණසිංහ මුදියන්සේ නමින් හැඳින්වුණි.
මෙසේ සෙනවියා කෙරෙහි පැහැදුණු රජතුමා විසින් කබුළුමුල්ල පත්තිනි දෙවොල සාදා අභය රණසිංහ මුදියන්සේටත් මැදගොඩ දේවාලය තනා මංගෙදරමුල්ලේ සිටි රණසිංහ මුදියන්සේට භාර කළේය. එතැන් පටන් කබුළුමුල්ල දේවාලයේ කපු මහත්වරු අභය රණසිංහ මුදියන්සේලා වූහ.වර්තමාන දේවාල කපු මහතා වන අභය රණසිංහ මුදියන්සේලාගේ කුඩා බණ්ඩාර රණසිංහ මහතා 52 වන කපු මහතා වේ.
ගමන් මාර්ගය
අවිස්සාවේල්ල – නුවරඑළිය මාර්ගයේ තුන්මංසලින් යටියන්තොට දෙසට කීලෝමීටර 01 ක් පමණ යන විට වම්පසට වන්නට උස් කඳුවැටියකට දෙවොල පිහිටා තිබෙන ලදී.
බිබිලිඔය පුරාණ රජමහා විහාරය
එකළ අනුරාධපුරයේ රජකළ වලගම්බා මහරජු සොළින් සමඟ සටන් වැද පරාජයට පත් වූ අතර ඉන්පසුව කොත්මලේ දක්වා සේනා සංවිධානය කරමින් ලංකාවේ නොයෙකුත් ස්ථාන වාසස්ථානය කරගනිමින් සේනා සංවිධානය කර ඇත. කොත්මලේ දක්වා යන ගමනේදී රජතුමන් ලෙන සහිත මෙම ස්ථානය ආරක්ෂීත ස්ථානයක් සේ සලකා සේනා සංවිධානය කිරීමේ කටයුතු සඳහා යොදා ගෙන ඇත. මේ පිළිබඳව මෙම ලෙන් තුළ ඇති බ්‍රාහ්මීය අක්ෂර සහිත ශිලා ලේඛන තුළින් හා කටාරං කොටා ඇති අන්දමින් පැහැදිලි වේ.මහා මොරසුරන වර්ෂාවකදී වුවද එක් දිය බිඳක් මෙම ලෙන් තුළට ගලා නොයන සේ මෙම ඵෙතිහාසික ලෙනෙහි කටාරම් කොටා ඇති අන්දම දෙස බැලු කළ අපේ ඉපැරණි ගල් වඩුවන්ගේ දක්ෂතාවය පිළිඹිබු වේ.පසු කාලීනව මෙම ලෙන් පිහිටා ඇති ස්ථානය විහාරයක් කරවා වළගම්බා රජු සමයේ මහ සංඝරත්නයට පුජා කළ බව ඉතිහාසයේ සඳහන් වේ.
ගමන් මාර්ගය
කරවනැල්ල හා යටියන්තොට නගර පසුකරමින් හැටන් මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමේදී තැලිගම ද පසුකරමින් බිබිලිඔය ග්‍රාමයට ඇතුල් වූ පසු කිතුල්ගල පුරවරයට යාබඳව කීලෝමීටර් 34 කණුව සුකරමින් ඉදිරියට යන විට වම් පසින් පියගැට පෙළක් දිස්වනු ඇත. මෙම පියගැට පෙළ දෙපසට වන්නට විශාල ගල් පර්වතයන් දිස්වනු ඇත. එම පියගැට පෙළ අවසන් වනුයේ බිබිලිඔය පුරාණ රජමහා විහාර භූමියෙනි.